ජීවිතාවබෝධය


                                 ජීවිතාවබෝධය




බුදුසමයේ කේන්ද්‍රීය අරමුණ වූයේ සසර දුකින් නිදහස් වීමේ පිළිවෙත ලෝකයට ඉදිරිපත් කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ විසින් දුක පිළිබදවත් , එයින් මිදෙන මාර්ගය පිළිබඳවත් ලෝකයට පැහැදිලි කරන බවයි. සසර දුකින් මිදීමේ ක්‍රියාවලිය සාර්ථකවීමට අවශ්‍ය මූලිකම කරුණ වන්නේ දුක අවබෝධ කරගැනීමයි.
දුක් අවබෝධ කරගැනීම යනු ජීවිතයේ යථා ස්වභාවය වටහා ගැනීමයි. මේ අවබෝධය සිදුහත් කුමරු කෙසේ ලබාගත්තේද යන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ නවවන සූත්‍රයේ දැක්වන කරුණුවලින් පැහැදිලි වේ. මෙම සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේම උන්වහන්සේගේ යෞවන සමයේ අත්දැකීම් කෙසේදැයි විස්තර කරති. ස්වකීය පියාණන් විසින් සාදවා දෙන ලද සුවපහසු මන්දිර තුනක වාසය කරමින් අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සිදුහත් කුමරුට මෙසේ කල්පනා විය.
“මේ ලෝකයේ සිටින ඇතැම් අනුවණ මිනිස්සු තමන්ද කවදා නමුත් මහළු වෙනවා. මහළු වීමේ ස්වභාවයට යටත් වෙනවා. තමන්ට කිසිදිනෙක මහළු බව ඉක්මවා යන්නට බැරි බව දැන දැනම මහළු කෙනෙකු දුටු විට පීඩාවට හා ලජ්ජාවට පත් වෙනවා. මහළු බව පිළුකුල් කරනවා “ “මේ ලෝකයේ සිටින ඇතැම් අනුවණ මිනිස්සු තමන්ද කවදා නමුත් ලෙඩ වෙනවා.
ලෙඩ වීමේ ස්වභාවයට පත්වෙනවා. තමන් කිසිදිනෙක රෝගී බව ඉක්මවා යන්නට බැරි බව දැන දැනම රෝගියෙකු දුටු විට පීඩාවට හා ලජ්ජාවට පත් වෙනවා. රෝගී බව පිළිකුල් කරනවා “ මේ ලෝකයේ සිටින ඇතැම් අනුවණ මිනිස්සු තමන්ද කවදා නමුත් මරණයට වෙනවා. මරණයේ ස්වභාවයට යටත් වෙනවා. තමන්ට කිසිදිනෙක මරණය ඉක්මවා යන්නට බැරි බව දැන දැනම මළ මිනියක් දුටු විට පීඩාවට හා ලජ්ජාවට පත් වෙනවා. මරණය පිළිකුල් කරනවා . “ මෙසේ මහළු බව, රෝගී බව, මරණය යන අත්දැකීම් තමාටද පොදු සාධාරණය යනුවෙන් නොදකින පුද්ගලයා මහල්ලෙකු, රෝගියෙකු, මරණයට පත් වූ අයෙකු දැක පිළිකුල් කරයි. එහෙත් සිදුහත් කුමාරයා ජීවිතයේ යථාර්ථය දුටු අයුරු මෙම සූත්‍රයේ තවදුරටත් වාර්තා වේ. ඒ අනුව
“ මම මරණය ස්වභාව කොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූවෙක් වෙමි. මරණයට පත් වු අනෙකෙකු දැක පීඩිත වන්නේ නම් ලජ්ජිත වන්නේ නම් පිළිකුල් උපදවන්නේ නම් එය මට සුදුසු නොවේ. මෙසේ නුවණින් සලකා බලන විට ජීවිතය නිමිතිකරගෙන යම් ජීවිත මදයක් වී නම් එය සර්වප්‍රකාරයෙන්ම ඉවත් විය “ (මේ ආකාරයට මහළුවිය හා රෝගී බව පිළිබඳව කල්පනා කරයි)
ගමන් මඟ වෙනස් විය
යනුවෙන් සිදුහත් කුමරු තමන් හා උපමා කරගෙන මහළු බව, රෝගී බව, මරණය යන ජීවිතයේ යථා ස්වභාවය යනුවෙන් සිදුහත් කුමරු තමන් හා උපමා කරගෙන මහළු බව, රෝගී බව, මරණය යන ජීවිතයේ යථා ස්වභාවය දැකීමත් සමගම ඔහුගේ සිත තුළ පැවති යොවුන් බව නිසා ඇතිවෙන යොබ්බන මදය, නිරෝගී බව නිසා ඇතිවෙන ආරෝග්‍ය මදය, ජීවත්වීමේ ආශාව හේතුවෙන් ඇතිවෙන ජීවිත මදය යන මද තුන ක්‍රමයෙන් බැහැර වන්නට විය.
මෙම අවබෝධය ලැබීමත් සමගම සිදුහත් කුමරුගේ ජීවිතයේ ගමන් මග වෙනස්විය.මෙම තත්ත්වයෙන් සදාකාලිකව මිදෙන්නේ කෙසේදැයි විමසන්න වූ හෙයින් අභිනිෂ්ක්‍රමණය කෙරෙහි සිත ඇදී ගියේය. එම ගමනේ අවසානය ලොවට කොතරම් යහපතක් ද කළේද යන්න අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ.
යොවුන් බව
බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාර අවදියේ ලැබු මේ ජීවිතාවබෝධය නොලබන කොතෙක් අය අප අතර වෙසේද? යොවුන් බව හේතුවෙන් මදයට හා මුලාවට පත්ව මහලු විය,උපහාසයට ලක්කරමින් එය පිළිකුල් කරන තරුණ තරුණියන් දක්නට ලැබෙන අතර ඔවුන් තම මහළු මව, පියා මෙන්ම වැඩිහිටියන් නොසළකා කටයුතු කරන අවස්ථා කොතෙක්ද? මදයෙන් මුලාවට පත්වී තම දෙමාපියන් තමන්ට බරක් වශයෙන් සළකන ඇතැම් දරුවන් දෙමාපියන් මහමගට ඇද දමන අයුරු අසන්නට දකින්නට ලැබේ. තමන්ටද මෙම මහළු බව උරුම වන්නේ යයි නොදකින මෙම පුද්ගලයන් හැසිරෙන ආකාරය දෛනික සිදුවීම් වලින් වටහා ගත හැකිවේ.
දෙවනුව දැක්වූ ආරෝග්‍ය මදය හෙවත් නීරෝගීකම හේතුවෙන් ආඩම්බර වී අසරණ රෝගීන් නොසළකා කටයුතු කරන රෝගී බව පිළිකුල් කරන අය සිටිති. තෙවනුව ජීවිත මදය හේතුවෙන් මරණය පිළිකුල් කරන අය දක්නට ලැබේ. මෙම තත්ත්වය ඇතිවන්නේ මහළු බව, රෝගී බව හා මරණය නැතහොත් ජරා ව්‍යාධි මරණ යන දුක්ඛදායක අත්දැකීම සියල්ලන්ටම පොදු සාධාරණ එකක්ය යන අවබෝධය නොමැති වීමේ හේතුවෙන්ය. චතුරාර්ය සත්‍යයට අයත් දුක්ඛ සත්‍ය මගින් ඉදිරිපත් කෙරෙන ජරා, ව්‍යාධි , මරණ යන දුක්ඛ දායක ඉරණම සියල්ලන්ටම පොදූ වූවකි. එය බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ටද සාධාරණ වූවකි. එය වෙනස් කළ නොහැකිය. විමුක්තිය සාක්‍ෂාත් කිරීමත් සමග දුක්ඛ සත්‍යය හා බැදුණූ සෙසු දුක්ඛ දායක අත්දැකීම් වලින් නිදහස් විය හැකිය. එයද විමුක්තිය සාක්‍ෂාත් කළ බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ට පමණක් කළ හැකි දෙයකි.
මෙම තත්ත්වය නොදකින පුද්ගලයා ත්‍රිවිධ මදය හේතුවෙන් කයින් වචනයෙන් හා මනසින් දුශ්චරිත කොට මරණින් පසුව දුගති සංඛ්‍යාත නිරයෙහි ඉපිද දුකට පත්වන බව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දෙවන කොටසින් පැහැදිලි කළ සේක. මෙම සූත්‍රය අවසානයේදී ඉදිරිපත් කරන තවත් වැදගත් කරුණක් වන්නේ ඇතැම් පැවිද්දන් ද මෙම ත්‍රිවිධ මදයෙන් මත්වී ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට උපැවිදි වන බවයි. මේ අනුව ගිහි පැවිදි දෙපක්‍ෂයම මෙකී මද හේතුවෙන් දෙලොවින්ම පිරිහීමට පත් වේ.
සිරුරට ආවේණිකය
යෞවන මදයෙන් මත් වුණු පුද්ගලයා තමන්ගේ ශරීරය තුළ ඇතිවෙන ජරා හෙවත් දිරිම නැතහොත් පරිණාමයට පත්වීම වියපත් වීම පිළිගැනීමට අකමැති නිසා එම ස්වභාවික තත්ත්වයන් යටපත් කිරීම උදෙසා කාලය ධනය මෙන්ම ශ්‍රමයත් වැය කරයි. යොවුන් බව ආරක්‍ෂා කිරීමේ අරගලයක නිරත වෙයි. දිරීම මහළු වීම ශරීරයට ආවේණික වූ ධර්මතාවක් ලෙස පිළිගැනීම ජීවිතය පිළිබද කළ කිරීමක් නොවේ. ජීවිතාවබෝධය ලැබීමයි.
අපගේ භෞතික ශරීරය ආහාර පාන වලින් ලැබෙන පෝෂණයෙන් හා නිතර පිරිසුදු කිරීමෙන් නඩත්තු වන්නකි. එහි ඇති තතු දකින් පුද්ගලයා ශරීරය උපාදාන කරගැනීමෙන් වළකියි. එම ආත්මාවබෝධය තවදුරටත් ලෝකය දැකීමටත් සදාචාර සම්පන්න ජීවිතයකටත් හෙතෙම උනන්දු කරවයි. නීරෝගිකම උතුම්ම ලාභයයි. එහෙත් නීරෝගිකම හේතුවෙන් උද්දාමයට පත්වීම හෝ ඒ හේතුවෙන් රෝගීන් දෙස පිළිකුලෙන් බලන්නා ආත්මාර්ථකාමියෙකි. සිත කය දෙකම විවිධ රෝගාබාධයන්ට ගොදුරුවේ. එය ස්වාභාවිකය. රෝග වැළදෙන හේතු රැසක් ගිමානන්ද සුත්‍රයෙහි ඇතුළත් වේ. මෙම හේතු නිවැරදිව හඳුනා ගන්නා අයෙකුට නීරෝගීව ජීවිතය සකස් කරගත හැකිවේ.
එහෙත් සියල්ලම අපට වළක්වා ගත නොහැකිය. මෙම සත්‍ය වටහා ගත යුතුවේ. තම ශරීරය විවිධ රෝගාබාධ වලට ලක්වන බව දකින තැනැත්තා රෝගියෙකු දුටු විට එයින් පීඩිත නොවෙයි. තමාගේ ජීවිත අත්දැකීම් තුළින් රෝගි බව අවබෝධ කරගත් පුද්ගලයා බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් සේ සළකා රෝගීන්ගේ යහපත වෙනුවෙන් තම ධනය කාලය හා ශ්‍රමය වැයකරයි.මෙසේ රෝගී බව තුළින් ජීවිතාවබෝධය ලබන තැනැත්තා තුළ ආරෝග්‍ය මදය නිසා ඇතිවෙන මානසික දුර්වලතා ක්‍රමයෙන් ඉවත්වී යයි.
ජීවිත මදය
ජීවිත මදය බැහැර කොට තමාද මරණයට පත්වන්නේ යැයි දකින තැනැත්තා තුළ විශාල අධ්‍යාත්මික පරිවර්තනයක් සිදුවේ. නිරන්තර මරණානුස්සතිය තුළින් සදාචාර සම්පන්න නිවැරදි ජීවිතයකට අවශ්‍ය පදනම සකස් වේ. මරණය තම ජීවිතයට ආවේණික ධර්මතාවක් ලෙස දකින තැනැත්තා මරණය නමැති අත්දැකීමට සතුටින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගනී. මරණයේදි සියල්ල අතහැර යාටම සිදුවන බව අවබෝධකරගත් තැනැත්තා තෘෂ්ණාවෙන් භෞතික දේ පිටුපස හඹායාමෙන් වැළකී සරල ජීවිතයකට යොමුවේ.
ලොවට මෙත් සිත
තමා ජීවත්වන කාලය තුළ හැකිතාක් යහපත් ආකාරයෙන් කටයුතු කිරීමට කල්පනා කරනු ඇත. මරණානුස්සතිය ජීවිතයේ කොටසක් බවට පත්කරගත් තැනැත්තා සියදිවි නසා ගැනීමට හෝ තමන්ගේ මෙන්ම අන් අයගේත් ජීවිතයේ වටිනාකම තේරුම් ගනිමින් ජීවිත සුරක්‍ෂිතාව තහවුරු කෙරෙන ප්‍රාණඝාතයෙන් වැළකී අන් අයද එයින් වළක්වාගනී. සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීවන ඔහු හෝ ඇය හිංසන ක්‍රියාවලින් වැළකී ලෝකයට මෛත්‍රී සිත පතුරුවයි.
මේ වනාහි ජීවිතමදයෙන් බැහැර වූ පුද්ගලයාගේ විශේෂත්ත්වයි. යොබ්බන මදය, ආරෝග්‍ය මදය,ජීවිත මදය යන ත්‍රිවිධ මදයන්ගෙන් තොර තැනැත්තා ජීවිතය දකින එය අවබෝධකරගත් අයෙකු බව සිදුහත් කුමරුගේ අත්දැකීම් තුළින් වටහා ගත හැකිවේ. කුමරුන් තුළ ඇති වූ මෙම ජීවිතාවබෝධය සතර පෙර නිමිති මගින් සංකේතවත් කර තිබෙන අයුරු වටහා ගත හැකිවේ. කාමභෝගී ගිහියා තුළද මෙකී ජීවිතාවබෝධය තිබිය යුතු බව ව්‍යග්ඝපජ්ජ සුත්‍රයේ දැක්වෙන පඤ්ඤා සම්පදාව මගින් පැහැදිලි කෙරේ. ජරා , ව්‍යාධි, මරණ යන ආවේණික දුක දකින තැනැත්තා දහම් සැඩ පහරට අවතීරණ වූ අයෙකි. (සොතාපන්න) මේ අනුව ජීවිතාවබෝධය ලැබීම යනු ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය ලෙස පිළිගත හැකිවේ.

























ජීවිතාවබෝධය






ජීවිතාවබෝධය










ජීවිතාවබෝධය ජීවිතාවබෝධය Reviewed by kasun on 7/25/2014 04:14:00 PM Rating: 5

No comments:

What Do You Think? write something here.

Powered by Blogger.